Header Ads

සඳකැන් ගෙ ජිවිතෙ ගැන නොදන්න කතාව මෙන්න අැස්වලට කදුලු එනවා බැලුවොත්

 සඳකැන්  ගෙ ජිවිතෙ ගැන නොදන්න කතාව මෙන්න අැස්වලට කදුලු එනවා බැලුවොත්

මෙතෙක් ආ ගමන්මඟ ගැන කතා කරන්න සඳකැන්ගේ දෙමාපියන් හමුවීමේ අටියෙන් මහබාගේ, මත්තුමගල පිහිටි ඔහුගේ නි‍ෙවසට පසුගිය දිනෙක අප ගොඩ වූයෙමු. එහිදී සඳකැන්ගේ මෑණියන් වන ඩී. එල්. ශ්‍රියානි මහත්මිය අප සමඟ තම පුත්‍රයා ගැන කතා කරන්නට වූයේ දැඩි ප්‍රීතියකිනි.
“ඇත්තෙන්ම පුතා ගැන කියා නිම කළ නොහැකි සතුටක් මට තියෙන්නෙ. අපි පුතා සෙල්ලම් කළ මැච් දෙකම බලන්න පල්ලෙකැලෙටත්, ගාල්ලටත් ගියා. පුතා ටෙස්ට් වරම් ලබපු තරගය ජයග්‍රහණයකින්ම සමරන්න ලැබීම මම හිතන්නේ පුතා ලබපු භාග්‍යයක් . ඒ වගේමයි පුතා එදා පෙන්නපු දක්ෂතා දැක්කම මට ඇඬුණා‍‍. පුතා මේ තත්ත්වයට ආවේ ඔහුගේ තිබුණු ධෛර්යවන්ත, අධිෂ්ඨාන ශක්තිය නිසා. මේ ගමන එද්දී අපෙන් ලොකු මඟපෙන්වීමක් පුතාට ලැබුණේ නෑ. අපි ක්‍රිකට් තරග නැරැඹුවට එතරම් ඒ ගැන දැනීමක් සහ අවධානයක් නැහැ”යි පවසන ශ්‍රියානි මහත්මිය සඳකැන්ගේ දක්ෂතාවට නියම වටිනාකමක් දැන් ලැබී තිබෙන බව ද කීවාය.
සඳකැන්ගේ මව රාගම රෝහලේ 7 වැනි වාට්ටුවේ හෙදි සොයුරියක් (සිස්ටර්) ලෙස සේවය කරන්නීය. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ අයුරු ඇය සිහිපත් කරන්නේ ආසාවෙනි.
 සඳකැන් ක්‍රීඩාවන්ට පොඩි කාලේ ඉඳන් ආසයි. ඒත් මගේනම් ආසාව තිබුණේ හොඳින් ඉගෙන ගෙන අධ්‍යාපනයෙන් ඉහළට යනවා දකින්නයි. ඒත් ඉතින් අද ඉන්න තැන ගැන මට හරි සතුටුයි. මොකද මෙය පුතා තනිවම ආපු ගමනක්. සඳකැන් මුලින් කළේ පාපන්දු ක්‍රීඩාව. ඔහුගේ අයිය මිලාන් හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්. අයියයි මල්ලියි දෙන්න සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට බැඳිලා සිටියා. අයියනම් පාපන්දු ක්‍රීඩාවෙන් සෑහෙන්න ඉදිරියට ගියා. ඒත් ආබාධ නිසා අතරමඟ නතර වුණා. අයියා පාසල් ගියේ මරදානේ අශෝකෙට. මම ඉතින් ඩියුටි ඕෆ් වෙලා සඳකැන්වත් අරන් යනවා ලොකු පුතාව ගන්න අශෝකෙට. අයියට කවලා පොවලා ඔහුවත් අරගෙන සඳකැන් සමඟ ගුණසිංහපුර සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට යනවා. එහි පුහුණුකරු සිරිසේන මාස්ටර් මේ දෙන්නට හරිම ආදරෙයි. සඳකැන් පුහුණු කළේ ගෝල් කීපර් ලෙස. සිරිසේන මාස්ටර් පුතාටම කියලා වෙනම පුහුණුකරුවෙක් ගෙන්නලා ගෝල් කීපින්වලට ඔහුව පුහුණු කළා.”
ඉන්පසු සඳකැන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු අයුරු අප ඇයගෙන් විමසීය.
“පුතා මුලින් පාසල් ගිය මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේත්, පාපන්දු කණ්ඩායමේත් දෙකේම සිටියා. පසුව පාසලේ පුහුණුකරුවන් පුතාට කියලා තිබුණා, එක ක්‍රීඩාවක් තෝරගන්න කියලා. විශේෂයෙන් සර්ලගේ කැමැත්ත තිබිලා තියෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාව කරනවට. ඊට පස්සෙ දිගටම ක්‍රිකට්වලට යොමු වුණා. එහෙම සෙල්ලම් කරනවා දැකපු කඳාන ද මැසනද් විදුහලේ ක්‍රිකට් පුහුණුකරුවන් පුතාව මැසනද් එකට ගන්න උනන්දු වුණා. ඒ සාමාන්‍ය පෙළ කරලා ප්‍රතිඵල එනකල් ගෙදර ඉන්න කාලේ. ඒ කාලෙම සඳකැන්ට කැලණිය ගුරුකුලෙනුත් කතා කරලා තිබුණා. මගේනම් බලාපොරොත්තුව තිබුණේ අධ්‍යාපනයෙන් ඉහළට ගොස් පුතා හොඳ රස්සාවක් කරනවා දකින්ටයි. ඒත් වර්තමානයේ පුතාගේ ඉරණම ගැන මට හරිම සතුටුයි. මොකද අද කාලේ හැටියට ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන්න උපරීම දක්ෂයෙක් වෙන්න ඕන. මගේ පුතා ඒ හැකියාව පෙන්නලා තියෙනවා” ශ්‍රීයානි මහත්මිය පාසල් සමයේම ක්‍රිකට් නිසා ලැබෙන්ට ගිය රැකියාවක් ගැන ද අපට කීවේ මෙලෙසිනි.
“දවසක් වරාය අධිකාරියේ කට්ටියක් අපේ ගෙදරට ආවා. එතකොට සඳකැන් උසස් පෙළ කරන කාලේ. ක්‍රීඩා සමාජයකටත් ක්‍රීඩා කළා. ඒ ආව අය කිව්වා පුතාට අපි හොඳ රස්සාවක් දෙන්නම්, සල්ලිත් දෙන්නම් පුතාව වරාය ක්‍රිකට් ටීම් එකට බඳවාගන්න අවස්ථාව දෙන්න කියලා. ඒත් අපි එයට කැමැති වුණේ නැහැ. විශේෂයෙන් පුතා කෙතරම් මුදල් අඩුපාඩු තිබුණත් මුදලට තමා එතෙක් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජය අත්හරින්න කැමැති වුණේ නෑ” යැයි කියන ශ්‍රියානි, මැසනද් විදුහලට යෑම සඳකැන්ගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂය හැටියට දකී.
“මැසනද් විද්‍යාලයට යෑම සඳකැන්ගේ ජීවිතයට සෑම අතින්ම වැදගත් වුණා. කීර්ති සර් හා සංජීව මෙන්ඩිස් සර්ලා හමුවීම ක්‍රිකට් දිවියට ලොකු ශක්තියක් වුණා පුතාට. කරුණාරත්න පාසලේ බුද්ධි ප්‍රසන්නයි මාධව මිහිරාන් ද ලොකු සේවයක් මුල් කාලේ පුතාගේ ක්‍රිකට් වෙනුවෙන් කළා. සඳකැන් ක්‍රිකට්වලින් ජීවිතය ජයගන්නා බවක් මැසනද් ගියාට පස්සෙ අපටත් හැඟුණා. ඉඩ ලැබෙන හැම අවස්ථාවේම පුතා සෙල්ලම් කරන තරග නරඹන්න මමත් මහත්තයත් ගියා. දවසක් මම මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේ තිබිච්ච තරගයක් බලන්න ගියා. එදා සංජීව මෙන්ඩිස් සර් මගේ ළඟට ඇවිල්ලා කිව්වා, ‘අම්මා බයවෙන්න එපා සඳකැන් ක්‍රිකට්වලින් ලොකු ගමනක් යනවා’ කියලා. ඉතින් එවැනි ප්‍රකාශවලින් අපටත් යම් බලාපොරොත්තුවක් ආවා පුතා දීර්ඝ ගමනක් මේ ක්‍රීඩාවෙන් යයි කියලා.”
අප සඳකැන්ගේ නිවෙසේ ගතකරන කාල සමය තුළ දී ඔහුගේ පියා වන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයෙහි නිරතව විශ්‍රාම සුවයෙන් පසුවන ඇන්තනි ඔස්ටින් මහතා සහ අයියා වන මිලාන් සංගීත් නිවෙසේ නොසිටියේය. ශ්‍රීයානි මහත්මියගෙන් සඳකැන් ජාතික කණ්ඩායමට එක්වූ මොහොත ගැන විමසුවෙමු.
“2014 එංගලන්ත සංචාරයට තමයි මුලින්ම තේරුණේ. මම වැඩට ගිහින් එන අවස්ථාවක තමයි පුතා මට කෝල් කරලා කිව්වේ. කොටින්ම මට ඉන්න තැනත් අමතක වුණා. ගෙදර ආවම පුතා මාව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා සතුට වැඩිකමට. මම හැම විටම අප අදහන බෞද්ධාගමට පින් දෙන එක තමයි කරන්නෙ ළමයින්ගේ සතුට දිහා බලලා. මගේ අක්කගේ දූලා, සඳකැන් අද ඉන්න තැන ගැන හරියට සතුටු වෙනවා. එයාලා සෑහෙන්න කැපවුණා පුතාව මෙතැනට ගේන්න.”
සඳකැන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් මවගෙන් විමසීය.
“පුතාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඉතින් උනන්දුව තිබුණේ ක්‍රිකට්වලටනේ. දෙමාපිය රැස්වීම්වලදී ගුරුවරු මට කියනවා, ‘මෙයාට මොනවහරි කරන්න වෙයි, මෙයා ක්‍රීඩාව විතරයිනේ කරන්නේ’ කියලා. ගුරුවරු හුඟ දෙනෙක් මම හොස්පිට්ල් වැඩ කරන නිසා හඳුනනවා. ඒ නිසා මට පෞද්ගලිකවම කියනවා පුතා අධ්‍යාපනයෙන් ඉහළට යන්න උනන්දු කරන්න කියලා. කවදාවත් අපි හිතුවේ නෑනේ පුතා ක්‍රිකට්වලින් මෙවැනි ගමනක් යයි කියලා. පුතාට එක ශ්‍රේණියේදී උගන්වපු ගුරුතුමියක් පුතා ක්‍රීඩා කරනවා රූපවාහිනියෙන් දැකලා මට කතා කරලා සතුට ප්‍රකාශ කළේ අදහාගත නොහැකි සතුටකින් යුතුව. කොහොමහරි සාමාන්‍ය පෙළ, උසස් පෙළ හොඳට පාස් වුණා. උසස් පෙළ කලාවලින් කළේ, කාලයක් නීතිය හදාරන්නත් පන්ති ගියා මාස 5ක් විතර ගම්පහ.” මේ ඇය සඳකැන්ගේ ගතිගුණ ගැනත් රසගුණ ගැනත් කියු අයුරුයි. “සාමාන්‍යයෙන් ටිකක් සැරයි. මැච් ගැන විස්තර අහනවට එතරම් කැමැති නෑ. කිසිම දෙයක් කියන්නෙ නෑ. ඒත් ආගමට දහමට ඉතාම ළැදියි. මස් ජාති කන්නෙම නෑ. හැබැයි සී ෆුඩ් රයිස් වගේ කෑම කන්න හරිම ප්‍රියයි” ද ඇය කීවාය.
“ගමේ පන්සල සමඟ හරිම එකතුයි. සමිති සමාගම්වලත් ඉන්නවා. ලසිත් පුතා සමඟ ඉන්දීය සංචාරයක් ගිහින් ඇවිත් පන්සලේ බෝධි ප්‍රාකාරය ළඟ බුදු පිළිමයක් තැන්පත් කළා ඔහුගේ ධන පරිත්‍යාගයෙන්.” අප නිවසින් පිටව එන මොහොතේදී යාබද පන්සලේ තිබෙන එම බුදු පිළිමය සඳකැන්ගේ මව අපට පෙන්වීය.
“දැන් මට පුතා ගැන බයක් නැහැ. රෝහලේ කාර්ය මණ්ඩලයත් පුතාව රූපවාහිනියෙන් දකින විට මා රාජකාරි කරන වාට්ටුවට ඇවිල්ලා සුබ පතලා යනවා.” එම සුබ පැතුම් තමාට අභිමානයක් බව ද සඳකැන්ගේ මව කීවාය.
අවසාන වශයෙන් සඳකැන්ගේ අනාගතය ගැන විමසූ විට, “පුතා ක්‍රිකට්වලින් ඉහළට යනවා දකින එක තමයි මගේ සිහිනය. ඒ වගේම දැන් ඉතින් පුතාට අවුරුදු 25ක්. කසාද බඳින වයසත් ටික ටික ළංවනවා. එසේ පවසන ශ්‍රීයානි මහත්මිය එහෙත් තවමත් පෙම්වතියක් නොමැති බවක් ද අපට කීය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දඟපන්දුව බාර ගැනීමට සිටින ලක්ෂාන් රංගික සඳකැන්ගේ අනාගතයට රසඳුන අප සුබ පතන්නෙමු.

No comments:

Powered by Blogger.